මවට හතළිහයි බෑනට තිහයි…
තර්ස්ටන් විදුහලට හතලිස් වසරක් පිරීම නිමිත්තෙන් උත්සව මාලාවක් මේ නොබෝදා පැවැත්විනි. ඒ අතර තර්ස්ටන් විදුහල් මාතාවගෙන් උපන් නරිබෑනා නාටකයට ද 1990 දී තිස් වසරක් පිරෙයි.
1960 නොවැම්බර් 04 වනදා ප්‍රථම වරට තර්ස්ටන් විද්‍යාලයීය ශාලාවේදී කරන ලදී. නරිබෑනා හා කාමරේ පොරේ නාට්‍ය යුගල නිෂ්පාදනය කරන ලද්දේ තර්ස්ටන් විද්‍යාලයීය රංග පීඨය මගිනි.
ප්‍රථම රාත්‍රියේ ලැබුනු ප්‍රථිචාර අනුව ඊළඟ දෙදින තුළ ද නාට්‍ය රඟ දක්වන ලදී. අතුරු සිදුරු නැතිව ප්‍රේක්ෂකයෝ තර්ස්ටන් රංග ශාලාවට පැමිණියහ. දැන් ඕගොල්ලෝ තර්ස්ටන් එකේ බයිස්කෝප් පෙන්වනවාදැයි තමාගෙන් මේ සම්බන්දයෙන් විමසූ බව මෙම නාට්‍ය නිෂ්පාදනය කළ විදුහලේ ආචාර්ය අශෝක ලියනගේ මහතා මා සමඟ ප්‍රීතියෙන් පැවසීය.
“නරිබෑනා”, “කාමරේ පොරේ” නාටක දෙක මා රචනා කලේ කෑගලු විද්‍යාලයේ උගන්වමින් සිටි කාලයේය. විශ්ව විද්‍යාලයෙන් පසු 1957 දී එම විදුහලට බැඳුනු මා 1958 දී “ස්වර්ණතිලකා” නමින් නාඩගම් ශෛලියක් වූ නාටකයක් ද, “පරාස්සයා” නමින් තොවිල් නැටුම් ආරයෙන් වූ නාටකය ද, එහිදී නිෂ්පාදනය කළෙමි.
මේ නාට්‍ය දෙක සරත්චන්‍ද්‍ර විද්වතාගේ “මනමේ හා රත්තරං” යන නාට්‍ය දැක එයින් ලැබූ ආශ්වාදය හේතු කොටගෙන නිර්මාණය වූ ඒවායි. “පරාස්සයා” නාටකය දුටු සරත්චන්‍ද්‍ර මහතා එකී නිර්මාණය අගය කොට මට ලිපියක් එව්වේ අනාගත සුභ පැතුම් ද ඇතුලත් කොටය. “පරාස්සයා” ජාතික නාට්‍ය කලා සංස්ථාව මගින් ද පෙන්වන ලදී.
කෑගල්ලෙන් කොළඹට මාරුවක් සඳහා මා කොළඹ අධ්‍යාපන නිළධාරී වී තුරේසිංහම් මහතා හමුවූ විට ඒ මහතා මට තර්ස්ටන් විදුහලේ භූගෝලය ඉගැන්වීම සඳහා ඇබෑර්තුවක් ඇති බව මට දන්වා සිටියේය. නාට්‍ය කලාව සම්භන්දයෙන් යෙදීමට කොළඹ වඩාත් සුදුසු ස්ථානයක් බව සිතූ මා නැවතත් තෙමසකට පසු තුරේසිංහම් මහතා හමුවූ විට ඔහු ඒ සැනින්ම තර්ස්ටන් විදුහලේ පත්වීම මට පිළියෙල කර දුන්නේය.
එසේ 1960 දී තර්ස්ටන් විදුහලට පැමිණී විට එහි රංගපීඨය සඳහා නාට්‍යයක් නිෂ්පාදනය කරන ලෙස ඉල්ලා සිටින ලදී. එහි ප්‍රධාන සංවිධායක වූ අශෝක ලියනගේ මහතා සාමාජිකයන් වූ ලක්‍ෂ්මන් ජයවර්ධන, කේ. ජී. මෛත්‍රීපාල, සීලසේන මධුරප්පෙරුම, ඩික්සන් දෑල, ආරියරත්න බුලේගොඩ, රංජිත් වනිගරත්න, බන්දුරන්සි පෙරේරා ආදීන් සමඟ මා ඔවුන්ට ඉදිරිපත් කල “නරිබෑනා” සහ “කාමරේ පොරේ” ගැන සතුටු වී ඒවා නිෂ්පාදනය කිරීමට උනන්දු වූහ.
නාටකයේ නැටුම් සඳහා සිය ගෝලයෙකු වූ බැසිල් මිහිරිපැන්නත්, අවශ්‍ය කාන්තා චරිත සඳහා ගෝතමී විදුහලෙන් ශිෂ්‍යාවන් ලබා ගන්නා ලෙසත්, එම නිෂ්පාදනය අනුමත කරමින් විදුහල්පති ඇම්. ඩී. ගුණවර්ධවන මහතා කියා සිටියේය. ගැහැණු චරිත සඳහා පිරිමි ළමයි යෙදවීමට කලින් සිතා සිටිය ද, එය සාර්ථක නොවීය.
මුලින්ම නිෂ්පාදන කටයුතු ඇරඹුනේ සංගීත නිර්මාණ වලින්ය. විදුහලේ සංගීතාචාර්ය ලයනල් අල්ගම මහතා මා වේයන්ගොඩ මධ්‍ය මහා විදුහලේ ඉගෙන ගන්නා කාලයේ එහි සිටි කලා ලැදි සිසුවෙක් විය. එමෙන්ම මනා ඇඳුම් පැළදුම් වලින් සැරසී සිටිමින් කැපී පෙනුනු කෙනෙකු විය.
යූ. ආරියවිමල් ශිෂ්‍යයා තම මිතුරන් සමඟ අල්ගම මහතාට සහාය වූවේය. වරක් නාට්‍ය ගැන සාකච්ඡා කරමින් සිටි අවස්ථාවක නරියා ගමදුව රැගෙන යන තැන සිංදුවක් යෙදීම සුදුසු බවට යෝජනාවක් විය. මුල් පිටපතේ එවැන්නක් නොවීය. එදින පාසැල් විවේක කාලයේ මා ගීතයක් පිළියෙල කොට අල්ගම මහතාට දුන්නෙමි. ඔහුද ඊට තනුවක් යෙදුවේ එතරම් වෙහෙසක් නොගෙනය. අද ඉතා ජනප්‍රිය ගීතයක්ව පවතින “කුමටද සොබනියෙ” උපත ලැබුවේ එපරිදිය.
ගමකතාවක් වූ “නරිබෑනා” ගැන එතරම් උනන්දුවක් නොදැක්වූ තර්ස්ටන් සිසුවෝ දෙබස් වලින්ම යුත් විකට නාට්‍යයක් වූ “කාමරේ පොරේ” ගැන අධි බලාපොරොත්තුවක් තබා සිටියහ.
නාට්‍ය ඇඳුම් පැළදුම් හා රංග අලංකරණ පිළියෙල කරන ලද්දේ විදුහලේ චිත්‍රකලා ආචාර්ය ඩබ්ලිව්. ඊ. ප්‍රනාන්‍දු මහතාය. ඒ මහතා ප්‍රථම නිෂ්පාදනයට සෑදූ අගනා නරි වලිගය තවමත් දර්ශන සඳහා පාවිච්චි කරනු ලැබේ. විදුහලේ රේඩියෝ සමාජය සමඟ වේදිකා සිරිමල් ගුණරත්න වේදිකා ආලෝකය සැපයුවේය. සුප්‍රකට කලාකරු ගෝමිස් ගුරුන්නාන්සේ ද ප්‍රථම දර්ශනය සඳහා බෙර වාදනය කල අතර, වාදක මණ්ඩලයට රෝහණ බැද්දගේ ද සහාය විය.
දයානන්ද ගුණවර්ධන (1990)